කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී අද (16) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා අතර බහින්බස්වීමක් සිදුවිය.මෙම රැස්වීමට අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, සිවඥානම් ශ්‍රීධරන් සහ රාමනාදන් අර්ච්චුනා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී මන්ත්‍රී අර්ච්චුනා මහතා විසින් 2025 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අත්හැර දැමීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් ඇළ රක්ෂිතයක පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලදී.දිස්ත්‍රික්කයේ දූෂණ ක්‍රියාවලට උසස් නිලධාරීන් හවුල් වී ඇති බවට මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයත් සමඟ සභාව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. මන්ත්‍රීවරයා රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් නුසුදුසු වචන භාවිත කළ බව සඳහන් වන අතර, ඒ හේතුවෙන් නිලධාරීන් රැස්වීමෙන් ඉවත්ව යාමට උත්සාහ කළහ.මෙම තත්ත්වය පාලනය කිරීමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා උත්සාහ දැරුවද එය සාර්ථක නොවූ අතර, අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා අතර ගැටුමක් දක්වා වර්ධනය වීමට ගිය බහින්බස්වීම පොලිසියේ මැදිහත්වීමෙන් පාලනය කෙරිණි. පසුව රැස්වීම තාවකාලිකව කල් තැබීමට පියවර ගැනුණි.














