මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ වන විට දිනකට රුපියල් මිලියන 6ත් 7ත් අතර මුදලක්, එනම් වසරකට රුපියල් බිලියන 4ක පමණ දැවැන්ත අලාභයක් ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය. මෙම අලාභය මඟහරවා ගැනීම සඳහා විකල්ප යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, මත්තල ගුවන්තොටුපොළ සඳහා ආයෝජන යෝජනා මේ වන විටත් කැඳවා ඇත. 2027 වසර වන විට ඒ සම්බන්ධ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති බව නිලධාරීන් මෙහිදී සඳහන් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ක්‍රියාකාරිත්වය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම යටතේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තයක් ඉදිකිරීම සහ ඩිපෝ ප්‍රසාරණ කටයුතු 2027 වසර තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇති බවත්, හිඟුරක්ගොඩ ඇතුළු අභ්‍යන්තර ගුවන්තොටුපොළවල සිවිල් මගී මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීමට ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධ සමාලෝචනයක් සිදුකර වාර්තාවක් සකස් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවත් අනාවරණය විය.
එසේම යාපනය ගුවන්තොටුපොළ මගී පර්යන්තය නවීකරණය කර පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, කොළඹ වරායේ Logistic Park ව්‍යාපෘතිය, දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම, බටහිර පර්යන්තයේ දෙවන අදියර සහ වරාය සේවා ඩිජිටල්කරණය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. ආයතන සතු මූල්‍ය ශක්තිය කළමනාකරණය කරමින් ජනතා බදු මුදල්වලට බරක් නොවී රාජ්‍ය භාණ්ඩාගාරයට උපරිම දායකත්වයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම අවස්ථාව සඳහා වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් සහභාගී වූහ.














