2027 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා වන සහතිකපත් හුවමාරු කිරීම ඊයේ (15) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් මෙම සහතිකපත් හුවමාරු කර ගන්නා ලදී.මෙම ව්‍යාපෘතිය යටතේ රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ රජයේ අනුමත පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා අවශ්‍ය නිල ඇඳුම් රෙදි සැපයීමට නියමිතය. ඒ අනුව සිසුන් මිලියන 4.18කට ආසන්න පිරිසකගේ අවශ්‍යතාව සපුරාලීම සඳහා රෙදි මීටර් මිලියන 10.820ක ප්‍රමාණයක් චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබේ. මෙම අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














