දිල්ලි නුවර, බුරාරි ප්‍රදේශයේ කුලී නිවසකදී තරුණයෙකු විසින් තරුණියක වෙඩි තබා ඝාතනය කර පසුව තමන් ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගැනීමේ පුවතක් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී සැක කෙරෙන්නේ මෙය දෙදෙනාගේම එකඟතාවයෙන් සිදුකළ සියදිවි හානි කරගැනීමේ එකඟතාවක් (Suicide pact) විය හැකි බවයි.
මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට ලැබුණු ඇමතුමකට අනුව ඔවුන් වහාම එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබේ. ඝාතනයට ලක්වූ තරුණිය උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචිකාරියක් වන අතර, ඇය සිය සොහොයුරිය සමඟ මෙම කුලී නිවසේ පදිංචිව සිට ඇත. සේවය නිම වී නිවසට පැමිණි තරුණියගේ බාල සොහොයුරිය විසින් අද (16) දහවල් 3.30 පමණ වන විට මෙම මළ සිරුරු සොයාගෙන පොලිසිය දැනුවත් කර තිබේ.
තරුණයා හර්යානා ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු උතුරු දිල්ලියේ වෙනත් ස්ථානයක පදිංචිව සිට ඇත. පසුගිය මාස කිහිපය තුළ ඔවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය වූ ස්ථානයට අපරාධ සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් කැඳවා වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.














