කිසිදු ලියකියවිල්ලක් හෝ ඇපකරුවන් අවශ්‍ය නොවන බව පවසමින් අන්තර්ජාලය හරහා ක්ෂණිකව ණය ලබාදෙන ව්‍යාජ යෝජනා ක්‍රමවලට හසු නොවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවට දැඩි ලෙස අනතුරු අඟවා සිටී. මිනිත්තු පහක් වැනි කෙටි කාලයක් තුළ ණය මුදල් ලබාදෙන බවට පවසමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන මෙවැනි වෙළඳ දැන්වීම් මගින් පාරිභෝගිකයන්ගේ මුදල් මෙන්ම පෞද්ගලික දත්තවල ආරක්ෂාවද දැඩි අවදානමකට ලක්විය හැකි බව එම අධිකාරිය පෙන්වා දෙයි. මෙම වංචනික ක්‍රමවේද හරහා ණය ලබාගන්නා පුද්ගලයන්ට පොරොන්දු වූ මුදල සම්පූර්ණයෙන් නොලැබීම, අසාධාරණ ලෙස අය කරනු ලබන අධික පොලී අනුපාත, ජංගම දුරකථනවල ගබඩා කර ඇති පෞද්ගලික තොරතුරු වෙත අනවසරයෙන් ප්‍රවේශ වීම මෙන්ම ණය ගෙවීම ප්‍රමාද වන විට බිය ගැන්වීම් සහ බ්ලැක්මේල් කිරීම් වැනි බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකි බවද ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවයි. එම නිසා මහ බැංකුව විසින් අනුමත කරන ලද මූල්‍ය ආයතනවලින් පමණක් ණය පහසුකම් ලබාගන්නා ලෙසත්, නොදන්නා ණය ලබාදෙන ජංගම දුරකථන යෙදුම් (Apps) බාගත කිරීමෙන් වළකින ලෙසත් පාරිභෝගිකයන්ට උපදෙස් ලබා දී ඇත. යම් හෙයකින් මෙවැනි වංචාවකට ලක්ව ඇත්නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරයි.














