ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ කිසිදු නීත්‍යානුකූල මාර්ග බලපත්‍රයක් නොමැතිව දුරගමන් සේවා බස් රථ දහසකට ආසන්න ප්‍රමාණයක් රට පුරා ධාවනය වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. නීත්‍යානුකූලව බලපත්‍ර ලබාගෙන සේවාවන් පවත්වාගෙන යන බස් රථ හිමියන්ට මෙම තත්ත්වය බලවත් අසාධාරණයක් වන අතරම, මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද බරපතළ ගැටලුවක් මතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි. ඇතැම් මහා පරිමාණ පෞද්ගලික බස් සමාගම් ඔවුන්ගේ නිත්‍ය බලපත්‍ර සහිත බස් රථවල වර්ණයටම සමාන වර්ණයෙන් බලපත්‍ර නොමැති බස් රථ ධාවනය කරන බවත්, ඒ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බවත් විජේරත්න මහතා වැඩිදුරටත් චෝදනා කරයි. මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා ප්‍රකාශ කළේ, බලපත්‍ර නොමැතිව බස් රථ ධාවනය වන බව සත්‍යයක් වුවත්, එම සංඛ්‍යාව 1,000ක් බව තහවුරු කළ නොහැකි බවයි. මීට අමතරව, නීත්‍යානුකූල බලපත්‍ර ඇති ඇතැම් බස් රථ පවා අනුමත කාලසටහන්වලට අනුව ධාවනය නොකර ලාභ ලබන කාලසීමාවලදී පමණක් සේවාවන් පවත්වාගෙන යාම තවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය. බලපත්‍ර නොමැති බස් රථ ධාවනය සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන බස් රථ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කොමිෂන් සභාව මේ වන විටත් කටයුතු සූදානම් කරමින් සිටින බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














