ග්ලාස්ගෝ (Glasgow) නුවර පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම කණ්ඩායම හඳුන්වා දෙන ලදී.
සංචිතයට පිරිමි ක්‍රීඩකයින් 27 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් මලල ක්‍රීඩා, පැරා මලල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, කලාත්මක ජිම්නාස්ටික් සහ පිහිනුම් යන ක්‍රීඩා ඉසව් 07ක් සඳහා තරග වදිනු ඇත. මෙම සංචිතයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස නිලූක කරුණාරත්න මහතා කටයුතු කරන අතර, කණ්ඩායමේ නායකයා ලෙස රුමේෂ් තරංග මහතා නම් කර තිබේ. ආරම්භක උළෙලේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාර මහතාට හිමිවී ඇත. මෙම ක්‍රීඩා උළෙල ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා පැවැත්වීමට නියමිතය.
















