වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ වීමට සමගාමීව, වියට්නාමය ඇතුළු නැගෙනහිර ආසියාතික රටවල බෞද්ධ වන්දනාකරුවන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් “බුද්ධ වන්දනා” නමින් නව සංචාරක පැකේජයක් අද (16) කොළඹදී නිල වශයෙන් එළිදක්වන ලදී. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා ආගමික සංචාරක කර්මාන්තය පුළුල් කරමින්, ග්‍රාමීය ප්‍රජාවන්ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ප්‍රකාශ කළේ, මෙම නව පැකේජය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය විවිධාංගීකරණය කිරීමට මෙන්ම වියට්නාම් සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම වඩාත් පහසු කරවීමට උපකාරී වන බවයි. ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටෑම් (Trinh Thi Tam) මහත්මිය ද මෙම වැඩසටහන අගය කළ අතර, අගෝස්තු 18 වනදා සිට දෙරට අතර ඍජු ගුවන් ගමන් ආරම්භ වීමත් සමග සංචාරක සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ඇය විශ්වාසය පළ කළාය.















