විදේශීය සිසුන්, හුවමාරු වැඩසටහන්වල නියැලෙන්නන් සහ විදේශ මාධ්‍යවේදීන් සඳහා පනවා තිබූ වර්තමාන “තත්ත්ව කාලසීමාව” (duration of status) ක්‍රමය අහෝසි කරමින් නව වීසා නීති මාලාවක් ඇමරිකා එක්සත් ජනපදය විසින් හඳුන්වා දී තිබේ. ඒ අනුව, මින් ඉදිරියට අදාළ වැඩසටහන් හෝ රැකියාවල නියුතු කාලසීමාව පුරා වීසා වලංගු නොවන අතර, විදේශීය සිසුන් සහ හුවමාරු වැඩසටහන්වලට පැමිණෙන්නන්ට උපරිම වශයෙන් වසර හතරක කාලයක් ද, විදේශ මාධ්‍යවේදීන්ට උපරිම වශයෙන් දින 240ක කාලයක් ද රැඳී සිටීමට අවසර හිමිවේ. කෙසේ වෙතත්, චීන ජාතික මාධ්‍යවේදීන් සඳහා මෙම සීමාව දින 90ක් ලෙස පනවා ඇත.
ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) විසින් නිකුත් කරන ලද මෙම නව නීතිය මගින්, අදාළ කාලසීමාවට වඩා වැඩි කාලයක් ඇමරිකාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන්නන් ඒ සඳහා විශේෂිත අවසරයක් ලබාගත යුතු බව හෝ රටින් පිටව ගොස් නැවත ඇතුළුවීමට අයදුම් කළ යුතු බව ද සඳහන් වේ. රටට ඇතුළුවන සිසුන් සහ මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමත් සමඟ ඔවුන් කෙරෙහි පවතින අධීක්ෂණය දැඩි කිරීම මෙම නව නීතිවල අරමුණ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.














