ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සුරකිමින්, වනජීවී සංරක්ෂණය සහ සත්ව සුභසාධනය ඉහළ නැංවීමේ අරමුණින් නිවසේ ඇති කරන අලි ඇතුන් සහ ඔවුන් සංස්කෘතික උත්සව සඳහා යොදා ගැනීම නියාමනය කිරීම පිණිස නව නීති රාමුවක් සකස් කිරීමට රජය විසින් පත් කරන ලද කමිටුව සිය මංගල රැස්වීම අද (16) පරිසර අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
පරිසර අමාත්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස් විය. වර්තමානයේ පවතින නීති රීති සමාලෝචනය කර, රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල වන පරිදි නව නීති කෙටුම්පත් කිරීම සඳහා මූලික ක්‍රියාකාරී සැලැස්මක් මෙහිදී සම්මත කර ගනු ලැබීය.
මෙම කමිටුව සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු සහ පරිසර අමාත්‍යාංශයේ නියෝජිතයින් මෙන්ම විශ්‍රාමික වනජීවී නිලධාරීන් සහ පාරිසරික නීති විශේෂඥයින් ද ඇතුළත් වේ. සංස්කෘතික සම්ප්‍රදායන් ආරක්ෂා කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සත්ව සුභසාධනය සහ වනජීවී ආරක්ෂාව සහතික කිරීම සඳහා පවතින නීති සංශෝධනය කරමින් නව රෙගුලාසි හඳුන්වා දීමට කමිටුව බලාපොරොත්තු වේ.















