රුසියාවේ අතපෙවීම් සහ ප්‍රහාර එල්ල විය හැකි බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමඟ, තම රටේ ජල විදුලි බලාගාර සහ ඉන්චුකල්න්ස් (Incukalns) භූගත ස්වාභාවික ගෑස් ගබඩා සංකීර්ණය අවට ආරක්ෂාව දැඩි කිරීමට ලැට්වියානු අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රිස් කුල්බර්ග්ස් මහතා පියවර ගෙන තිබේ.
රුසියාව විසින් කලාපයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රකෝපකාරී ක්‍රියා සහ ප්‍රහාර සැලසුම් කරන බවට බටහිර බුද්ධි අංශ මෑතකදී අනතුරු ඇඟවීය. මෙම තත්ත්වය හමුවේ තවදුරටත් ගුවන් ආරක්ෂක පද්ධති සහ නේටෝ (NATO) හමුදා බලඇණි වැඩි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නේටෝ මහලේකම් මාර්ක් රූට් මහතාගෙන් ඉල්ලා තිබේ.
යුක්රේන ගැටුමේදී රුසියාව පසුබෑමකට ලක්ව ඇති බැවින්, ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා ඔවුන් ඕනෑම ආකාරයක ‘හයිබ්‍රිඩ්’ තර්ජනයක් එල්ල කිරීමට ඉඩ ඇති බව කුල්බර්ග්ස් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. එසේම, ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ලැට්වියානු මහ මැතිවරණයට රුසියාව මැදිහත් වීමේ අවදානමක් පවතින බව ද ඔහු සඳහන් කළේය. යුරෝපා සංගමය විසින් රුසියාවට එරෙහිව පැනවීමට නියමිත නවතම සම්බාධක මාලාව බල්ගේරියාව වැනි රටවල් විසින් අවහිර කිරීම දැඩි ලෙස විවේචනය කළ අග්‍රාමාත්‍යවරයා, මුදල් සෙවීම සහ සාමය ඇති කිරීම යන කරුණු දෙක එකවර සිදුකළ නොහැකි බවත් ප්‍රකාශ කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















