බ්‍රසීලයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමෙරිකාව 25%ක නව තීරුබදු පැනවීමට ගත් තීරණය හේතුවෙන් එරට සීනි සහ එතනෝල් කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ. ජූලි 22 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම නව බදු පැනවීම මගින් දෙරට අතර පැවති වෙළඳ සහයෝගීතාව ආපසු හැරීමක් සිදුවන බව බ්‍රසීල නිෂ්පාදකයින් පවසයි.
අමෙරිකාව මෙම තීරණයට හේතුව ලෙස දක්වන්නේ බ්‍රසීලය තුළ අමෙරිකානු එතනෝල් සඳහා පවතින සීමා කිරීම් ඇතුළු අසාධාරණ වෙළඳ පිළිවෙත් බව අමෙරිකානු වෙළඳ නියෝජිත ජැමීසන් ග්‍රීර් සඳහන් කරයි. කෙසේ වෙතත්, බ්‍රසීලය පවසන්නේ තම දේශීය බඩ ඉරිඟු එතනෝල් නිෂ්පාදනය ඉහළ යාම නිසා අමෙරිකාවෙන් එතනෝල් ආනයනය අඩුවී ඇති බවත්, එය ලෝක වෙළඳ සංවිධානයේ නීතිවලට අනුකූල බවත්ය.
බ්‍රසීලයේ සීනි සහ ජෛව බලශක්ති සංගමය (UNICA) පවසන්නේ අමෙරිකාව තමන්ට වාසිදායක ලෙස වෙළඳ කොන්දේසි වෙනස් කර ගැනීමට බලපෑම් කරන බවයි. 2025 වසරේදී පමණක් අමෙරිකාවට බ්‍රසීලයෙන් එතනෝල් ලීටර් මිලියන 253ක් සහ සීනි මෙට්‍රික් ටොන් 420,000ක් අපනයනය කර ඇති අතර, මෙම නව බදු පැනවීම එම අපනයන වෙළඳපොළට විශාල පහරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














