කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික කටයුතු සහ ක්රීඩා සඳහා වැඩි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව මඟින් අය කරනු ලබන විනෝද බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. මෙම තීරණය පිළිබඳව සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කොළඹ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් මහත්මිය සඳහන් කළේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමකට අනුව 2026 අයවැය හරහා මෙම බදු සහනය ලබාදීමට යෝජනා සම්මත වූ බවයි. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇත.
මෙම නව සංශෝධනය යටතේ සියලුම විනෝද බදු කාණ්ඩවල අනුපාතයන් අඩු කර ඇති අතර, දේශීය කලාකරුවන්ට සහ කලා ක්ෂේත්රයට දිරිගැන්වීමක් ලෙස දේශීය ප්රසංග සඳහා මෙතෙක් පැවති 12%ක බදු අනුපාතය 7% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. මෙම බදු සහනය හරහා ප්රසංග සංවිධායකයන්ට හිමිවන වාසිය සලකා බලා ප්රවේශපත්ර මිල ගණන් අඩු කරන ලෙස නගරාධිපතිනිය සියලුම සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටී. වැඩි ජනතාවකට ගුණාත්මක විනෝදාස්වාද අත්දැකීම් දැරිය හැකි මිලකට ලබාදීම සහ කලා ක්ෂේත්රය දියුණු කිරීම මෙම බදු සහනය ලබාදීමේ මූලික අපේක්ෂාව බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
















