ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2026 ජූනි මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා යන අංශ ද්විත්වයම වර්ධනයක් පෙන්නුම් කර ඇත. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූනි මාසයේදී 53.0ක අගයක් වාර්තා කළ අතර, මෙය පෙර මාසයට සාපේක්ෂව මන්දගාමී වර්ධනයක් වුවද නිෂ්පාදන අංශය තවමත් වර්ධනීය මට්ටමක පවතින බව මින් තහවුරු වේ. ආහාර සහ පාන වර්ග නිෂ්පාදන අංශයේ දායකත්වයෙන් නිෂ්පාදන උප දර්ශකය අඛණ්ඩව වර්ධනය වූ අතර, නව ඇණවුම් පෙර මාසයට සාපේක්ෂව සැලකිය යුතු වෙනසක් නොමැතිව මධ්‍යස්ථ මට්ටමේ පැවතුණි. කෙසේ වෙතත්, නිපුණ ශ්‍රමිකයන්ගේ හිඟය, ඉහළ යන ශ්‍රම පිරිවැය සහ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි සැපයුම් දාම බාධා නිෂ්පාදකයින්ට බලපා ඇති අතර, එම නිසා බොහෝ සමාගම් සිය තොග පවත්වා ගැනීමට උත්සාහ කිරීමක් දක්නට ලැබුණි.
සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූනි මාසයේදී 58.5ක අගයක් වාර්තා කළ අතර, එය මැයි මාසයේ පැවති අගයට වඩා ඉහළ යාමකි. මූල්‍ය සේවා, වෘත්තීය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රවල සිදුවූ පුළුල් දියුණුව මෙම වර්ධනයට මූලිකවම හේතු විය. සමාගම් රැසක් සිය කාර්ය මණ්ඩලය පුළුල් කිරීමත් සමඟ සේවා අංශයේ රැකියා නියුක්තිය ද ඉහළ ගොස් ඇත. ඉදිරි කාර්තුව සඳහා සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ධනාත්මකව පවතී. විශේෂයෙන්ම ආර්ථික දියුණුව සහ ඉදිරියේදී පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැර වැනි උත්සව සමයන් සමඟ සංචාරක පැමිණීම්වල වර්ධනයක් අපේක්ෂා කෙරේ. සමස්තයක් ලෙස නිෂ්පාදන අංශය මැදපෙරදිග අර්බුදය වැනි ගෝලීය අවිනිශ්චිතතා හමුවේ යම් අභියෝගවලට මුහුණ දෙන අතරේ, දේශීය ඉල්ලුම සහ සංචාරක ව්‍යාපාරයේ දියුණුව මත සේවා අංශය වේගවත් වර්ධනයක් පෙන්නුම් කරයි.
















