විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා ලබාදෙන තීරුබදු සහන ඉහළ නැංවීමට සහ එම ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. නිල මාර්ග ඔස්සේ විදේශ ප්‍රේෂණ එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා වැඩි ප්‍රතිලාභ සහ සහන ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
අදාළ සාකච්ඡාවේදී තීරුබදු සහන විදේශ ප්‍රේෂණ වාර්තා සමඟ සෘජුව සම්බන්ධ කිරීම සහ රේගු ක්‍රියාපටිපාටි සරල කිරීම පිළිබඳව අවධානය යොමු විය. එසේම විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම සහ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, රේගුව, වාණිජ බැංකු සහ ලංකා රෙමිට් ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම කෙරෙහි ද සාකච්ඡා කෙරිණි. රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන විදේශගත ශ්‍රමිකයන්ගේ මෙහෙවර ඇගයීමට ලක් කරමින්, ඔවුන්ට හිමි ප්‍රතිලාභ විනිවිදභාවයෙන් සහ සාධාරණව ලබාදීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














