අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු පාර්ශව අටක් විසින් ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේ, පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතීඥවරයාගේ දේශන අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි පෙත්සම් සලකා බලන බවයි. ඒ අනුව, අතරමැදි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාව මත අදාළ පෙත්සම් අගෝස්තු මස 04 සහ 06 යන දිනවල කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.














