ඉන්දියාවේ නව දිල්ලියේදී පැවති 5 වන බිම්ස්ටෙක් ජාතික ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව අමතමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා පෙන්වා දුන්නේ, බෙංගාල බොක්ක ආශ්රිත කලාපයේ ආරක්ෂාව යනු සාමූහික වගකීමක් බවයි. ත්‍රස්තවාදය, සයිබර් තර්ජන, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් වැනි දේශසීමා ඉක්මවා යන අභියෝගවලට තනිව මුහුණ දිය නොහැකි බැවින්, සාමාජික රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
දකුණු සහ අග්නිදිග ආසියාව සම්බන්ධ කරන පාලමක් ලෙස බිම්ස්ටෙක් සංවිධානයේ වැදගත්කම පැහැදිලි කළ ආරක්ෂක ලේකම්වරයා, බුද්ධි තොරතුරු හුවමාරුව සහ ආපදා කළමනාකරණය වැනි ක්ෂේත්රවලදී ප්‍රායෝගික ක්‍රියාමාර්ග වෙත යොමු විය යුතු බව ද කියා සිටියේය. 2027 වසරේ පැවැත්වෙන 6 වන බිම්ස්ටෙක් ජාතික ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව මෙහිදී ප්‍රකාශ කෙරිණි.














