ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) යටිතල පහසුකම් සංවර්ධනය හා ගබඩා ධාරිතාව පුළුල් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ මුතුරාජවෙල පරිශ්‍රයේ තවත් නව තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ජනක රාජකරුණා මහතා ප්‍රකාශ කළේය. මෙරට ඛනිජ තෙල් බෙදාහැරීමේ සහ ගබඩා කිරීමේ පහසුකම් කාර්යක්ෂම කිරීම මෙහි මූලික අරමුණ වන අතර, ඉන් තෙල් ටැංකි 4ක්ම වෙන් කෙරෙන්නේ ගුවන්යානා ඉන්ධන (Jet A-1) ගබඩා කිරීම සඳහාය.
මීට අමතරව, ගුවන්යානා ඉන්ධන ප්‍රවාහනය වඩාත් ආරක්ෂිත සහ කඩිනම් කිරීමේ අරමුණින් මුතුරාජවෙල පර්යන්තයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) දක්වා කිලෝමීටර් 21ක දිගින් යුත් නව භූගත ඉන්ධන නළ මාර්ගයක් ද ඉදිකිරීමට නියමිත බව සභාපතිවරයා පැවසීය. එමෙන්ම, කොළඹ වරාය පරිශ්‍රයේ සිට කොලොන්නාව ප්‍රධාන තෙල් ගබඩා පර්යන්තය දක්වා ඉන්ධන සෘජුවම රැගෙන යාම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් නව නළ මාර්ගයක් ඉදිකිරීමට ද මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබේ.
මේ අතර, ගෝලීය බලශක්ති වෙළෙඳපොළ පිළිබඳව අදහස් දැක්වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ මීට පෙර ක්‍රියාත්මක වූ ඉරාන-ඇමරිකානු අවබෝධතා ගිවිසුම් හමුවේ පහළ බැස තිබූ ලෝක ඉන්ධන මිල ගණන්, පවතින භූ-දේශපාලනික ගැටුම් යළි ආරම්භ වීමත් සමඟ නැවත වර්ධනය වෙමින් පවතින බවයි. අද උදෑසන වන විට ජාත්‍යන්තර බ්‍රෙන්ට් (Brent) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 84.85ක් ලෙසත්, ඇමරිකානු WTI වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79.52ක් ලෙසත් සටහන් විය. කෙසේ වුවද, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තා හමුවේ වුවද ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කිරීමට මේ දක්වා කිසිදු බාධාවක් හෝ අවහිරතාවක් මතුව නොමැති බව සභාපති ජනක රාජකරුණා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














