ලෝක බලතුලනය වෙනස් වෙමින් පවතින වත්මන් සංක්‍රාන්ති සමයේදී, ඉන්දියාව සහ චීනය අතර පවතින සබඳතාවයේ ස්වභාවය 21 වැනි සියවසේ ආසියානු කලාපයේ ස්ථාවරත්වය, සමෘද්ධිය සහ ආරක්ෂාව තීරණය කරන ප්‍රධානතම සාධකය වනු ඇති බව Pathfinder Foundation නිර්මාතෘ සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මිලින්ද මොරගොඩ මහතා ජාත්‍යන්තර දේශපාලන ලිපියක් මඟින් පෙන්වා දී තිබේ. ‘ද ප්‍රින්ට්’ සඟරාවේ පළ වූ ඔහුගේ ලිපියක දැක්වෙන්නේ දෙරට අතර පවතින දේශසීමා ආරවුල් සහ මෑතකදී ගොඩනැඟුණු අවිශ්වාසයන් හේතුවෙන් සබඳතා පළුදු වී ඇතත්, ඉතිහාසය දෙස බැලීමේදී මෙම රාජ්‍යයන් ද්විත්වය ආසියාවේ සංස්කෘතික හා දෘෂ්ටිමය සහකරුවන් ලෙස කටයුතු කර ඇති බවයි. ගෝලීය ජනගහනයෙන් 40%කට හිමිකම් කියන මෙම රාජ්‍යයන් දෙක, හුදෙක් සතුරන් හෝ මිතුරන් ලෙස නොව, තරඟකාරිත්වය මෙන්ම තෝරාගත් ක්ෂේත්රයන්හි සහයෝගීතාවය එකවර කළමනාකරණය කරන උපායමාර්ගික රාමුවක් නිර්මාණය කර ගත යුතු බව ඔහු අවධාරණය කරයි.
මොරගොඩ මහතා පෙන්වා දෙන්නේ ක්ෂණිකව විශාල සාම ගිවිසුම් කරා එළඹීමට උත්සාහ කරනවා වෙනුවට, මහජන සෞඛ්‍යය, දේශගුණික විපර්යාස, ස්වාභාවික ආපදා කළමනාකරණය, සංචාරක ව්‍යාපාරය සහ අධ්‍යාපන හුවමාරු වැඩසටහන් වැනි අඩු අවදානමක් සහිත ප්‍රායෝගික ව්‍යාපෘති හරහා පියවරෙන් පියවර විශ්වාසය ගොඩනඟා ගැනීමට දෙරට ක්‍රියා කළ යුතු බවයි. මෙම ඉන්දියා-චීන ද්විපාර්ශ්වික සබඳතාව පුළුල් වීම ඇමරිකාව, ජපානය හෝ සෙසු ආසියානු රටවලට එරෙහිව ගොඩනැඟෙන මිලිටරි හෝ දේශපාලන බල කඳවුරක් නොවන බවත්, එය ගෝලීය දේශපාලනයේ පවතින ධ්‍රැවීකරණය අවම කරමින් උපායමාර්ගික නම්‍යශීලීතාවක් ඇති කිරීමට ඉවහල් වන්නක් බවත් ඔහු සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි පශ්චාත් යුද සමයේ බිහි වූ බහුපාර්ශ්වික ආයතන වත්මන් ලෝක යථාර්ථයට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතු අතර, එහිදී ඉන්දියාව වැනි නැඟී එන බලවතුන්ට නිසි නියෝජනයක් හිමි විය යුතු බව ද ඔහු සිය ලිපියෙන් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ආසියානු කලාපීය රටවල ආර්ථික සහ ආරක්ෂක අවශ්‍යතා මෙම ඉන්දියා-චීන සබඳතාව මත සෘජුවම රඳා පවතින බව පවසන මිලින්ද මොරගොඩ මහතා, දෙරට අතර පවතින මතභේදයන් සහයෝගීතාවයට බාධාවක් කර නොගන්නා සහ එම සහයෝගීතාවය යථාර්ථවාදී නොවන දැඩි විශ්වාසයන් මත පමණක් පදනම් නොවන ප්‍රායෝගික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් අනුගමනය කිරීම වත්මන් ලෝක දේශපාලනයේ පවතින ප්‍රධානතම අභියෝගය මෙන්ම අවස්ථාව ද වන බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
















