බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව 2006 අංක 27 දරන දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ අධිකාරි පනත යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අවධාරණය කළේය. 2016 වසරේ සැප්තැම්බර් මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මෙරට තුළ දුම් රහිත දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, ජනතාව මුඛ පිළිකා රෝගයෙන් ආරක්ෂා කර ගැනීම මෙම පියවරේ අරමුණ බව ඔහු පැවසීය.
වාර්ෂිකව මෙරටින් මුඛ පිළිකා රෝගීන් 1750ත් 1900ත් අතර ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන්, මේ දක්වා දැනුවත් කිරීමේ කටයුතු පමණක් සිදු කළ ද, ඉදිරියේදී නීතිය තදින් ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා කියා සිටියේය. ඒ අනුව මෙම වැරදි සඳහා මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් රුපියල් 2,000ක දඩයක් හෝ මාස හයක සිරදඬුවමක් ලබා දිය හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, දුම් සහිත දුම්කොළ අලෙවියට නීතියෙන් අවසර හිමිව ඇති බව ද ඔහු පැහැදිලි කළේය.
















