ළමා ආරක්ෂණ ප්රමිතීන් සපුරාලීමට අපොහොසත් වන සමාජ මාධ්‍ය වේදිකා 18න් පහළ පරිශීලකයින් සඳහා තහනම් කිරීමට සිංගප්පූරු රජය තීරණය කර ඇත. එහෙත් එම ආරක්ෂණ ප්රමිතීන් සපුරාලන සමාජ මාධ්‍ය වේදිකා වෙත 18න් පහළ අයට තවදුරටත් පිවිසීමට අවස්ථාව ලබා දෙන බව සිංගප්පූරුවේ ඩිජිටල් සංවර්ධන සහ තොරතුරු අමාත්‍ය ජොසපින් තියෝ (Josephine Teo) මහත්මිය අද (17) ප්‍රකාශ කළාය.
ළමා අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ පැවති සමුළුවකදී ඇය වැඩිදුරටත් පැවසුවේ, යම් වේදිකාවක් දරුවන් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කර නොමැති නම් හෝ ඒ සඳහා කැමැත්තක් නොදක්වන්නේ නම්, එවැනි සේවාවන් තරුණ පරපුරට තහනම් කිරීම සමාජයක් ලෙස වඩාත් යෝග්‍ය බවයි. කෙසේ වෙතත්, මෙය රජයේ මූලිකම හෝ ප්‍රියතම ක්‍රියාමාර්ගය නොවන බවත්, රජයේ ප්‍රමුඛතාවය වන්නේ වේදිකා සමඟ එක්ව ආරක්ෂිත පියවරයන් ශක්තිමත් කරමින් දරුවන්ට ආරක්ෂිතව ඩිජිටල් සේවා භාවිත කිරීමට ඉඩ සැලසීම බවත් ඇය අවධාරණය කළාය.
මීට අමතරව, ළමයින්ට සහ නව යොවුන් වියේ පසුවන්නන්ට ඔවුන්ගේ වයස සහ පරිණතභාවය අනුව අන්තර්ජාලයට පිවිසීමට හැකි වන පරිදි “ස්ථරීකෘත ප්‍රවේශයක්” (tiered access) හඳුන්වා දීමට ද යෝජනා වී ඇත. අන්තර්ජාලය තුළ අහිතකර අන්තර්ගතයන් පාලනය කිරීම පමණක් නොව, නිර්දේශ කිරීමේ ඇල්ගොරිතම (recommendation algorithms) සහ නිරන්තර භාවිතයට පොළඹවන නිර්මාණාත්මක අංගයන් වැනි දේ ද දරුවන්ගේ ආරක්ෂාව උදෙසා නියාමනය කළ යුතු බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.















