අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තාන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් නවාස්ට මාස තුනක තහනමක් පැනවීමට ICC පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය භාවිතය සඳහා වන ප්‍රතිකාර වැඩසටහනක් සාර්ථකව අවසන් කිරීමෙන් පසු මෙම තහනම එක් මසකට අඩු කරනු ඇත.
පසුගිය පෙබරවාරි 07 වන දින කොළඹදී පැවති 2026 පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගයෙන් පසු සිදු කළ පරීක්ෂණයකදී නවාස්ගේ ශරීරයේ ‘Carboxy-THC’ අඩංගු බව තහවුරු විය.
තමා අතින් සිදු වූ වරද පිළිගත් 32 හැවිරිදි නවාස්, මෙම ද්‍රව්‍යය ක්‍රීඩා කාර්ය සාධනයට සම්බන්ධ නොවූවක් බවත්, එය තරගවලින් බැහැරව භාවිත කළ එකක් බවත් පෙන්වා දී ඇත. ඔහු මැයි 01 වන දින සිට ස්වේච්ඡාවෙන් තරග තහනමකට යටත්ව සිටි අතර, ඒ වන විටත් මාස දෙකහමාරක කාලයක් ගත කර තිබේ. මේ වන විට එම තාවකාලික තහනම ඉවත් කර ඇත.
මෙම සිදුවීමත් සමඟ පෙබරවාරි 07 වැනිදා නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ සහ ඉන් පසු මැයි 01 දක්වා පැවති තරගවල නවාස් ලබාගත් වාර්තා අවලංගු කිරීමට ද ICC පියවර ගෙන තිබේ.














