ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2020 ඇමරිකානු මැතිවරණයට චීනය මැදිහත් වූ බවට සිදුකළ චෝදනා චීනය විසින් “පදනම් විරහිත චෝදනා” ලෙස හඳුන්වමින් අද (17) දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියෑන් පෙන්වා දුන්නේ ඇමරිකානු මැතිවරණවලට මැදිහත් වීමට චීනයට කිසිදු උනන්දුවක් නොමැති බවත්, තමන් කිසිවිටෙකත් එවැන්නක් සිදුකර නොමැති බවත්ය. මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ගොතන ලද ඒවා බවත්, චීනය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සිදුකරන ඒවා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ගැටලුව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ සිදු කිරීමට නියමිත සංචාරයට බලපානු ඇද්දැයි කළ විමසීමකදී ප්‍රකාශකයා කියා සිටියේ, ඇමරිකාව සිය මැතිවරණ කටයුතු සඳහා චීනය සම්බන්ධ කර ගැනීම නවත්වා දෙරටේ සබඳතා වර්ධනයට අදාළ දේවල් සිදු කළ යුතු බවයි. මැයි මාසයේදී ට්‍රම්ප් මහතා බෙයිජිංහිදී ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවී ඇති අතර, එහිදී ඔවුන් ද්විපාර්ශ්වික සබඳතා කළමනාකරණය සඳහා නව රාමුවක් සකස් කිරීමට එකඟ වී තිබුණි. එම සංචාරයේදී ට්‍රම්ප් මහතා කළ ආරාධනය ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් පිළිගෙන ඇත.














