ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර තැපැල් පාර්සල් මගින් මත්ද්‍රව්‍ය එවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු නොවී මත්ද්‍රව්‍ය එවීම සඳහා කුඩා පාර්සල් භාවිත කිරීමේ උපාය මාර්ගයක් අනුගමනය කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පෙන්වා දෙයි.
ජුනි මස තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිදුකළ මෙහෙයුම් හතරකින් සහ තැපැල් පාර්සල් සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් නවයකින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 83.2ක් අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කළේය. දිනපතා ලැබෙන විශාල තැපැල් ප්‍රමාණය නිසා සෑම පාර්සලයක්ම භෞතිකව පරීක්ෂා කිරීම අපහසු බැවින්, රේගුව මේ සඳහා ස්කෑන් තාක්ෂණය භාවිත කරන බව හෙතෙම පැහැදිලි කළේය.
විශේෂයෙන්ම තායිලන්තයේ සිට එවන ලද පාර්සල්වල ‘කුෂ්’ (Kush) මත්ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බවද ඔහු අනාවරණය කළේය. එක් පාර්සලයක ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය කුඩා වුවද, ඒවා සෘජුවම පාරිභෝගිකයා වෙත ලැබෙන බැවින් සහ ජාවාරම්කරුවන් ඒවා වෙනත් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර ප්‍රමාණය වැඩි කරන බැවින් එය සමාජයට එල්ල කරන බලපෑම අතිමහත් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














