ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ නේපාලයේ හිටපු අගමැති පුෂ්ප කමල් දාල් මහතා අතර විශේෂ හමුවක් අද (18) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර පැමිණි දේශපාලන ගමන් මග සහ නේපාල කොමියුනිස්ට් පක්ෂයේ අත්දැකීම් පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ. ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගත් ක්‍රියාමාර්ග, රාජ්‍ය සේවයේ හා වතු ආශ්‍රිත ජනතාවගේ වැටුප් වැඩි කිරීම මෙන්ම දේශපාලන තලයෙන් වංචා දූෂණ ඉවත් කිරීමට සහ වරප්‍රසාද මත පදනම් වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩපිළිවෙල පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) නියෝජනය කරමින් විජය ප්‍රසාද් මහතා ඇතුළු ජාත්‍යන්තර නියෝජිතයින් පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයින් වන ඇමති ධම්මික පටබැඳි, නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
















