රජයේ සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයින් 582 දෙනෙකු සඳහා දෙවන අදියර යටතේ පත්වීම් ලිපි ප්රදානය කිරීම පසුගියදා (18) මරදාන ටවර් පරිශ්‍රයේදී සිදු කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බඳවා ගැනීම් සිදු කෙරුණු අතර, එය කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විනිවිදභාවයෙන් යුතුව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීම විශේෂත්වයකි.
මෙම නව පත්වීම්ලාභීන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මධ්‍යම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කරනු ඇත. මෙම නව බඳවා ගැනීම් හේතුවෙන් කොළඹ සහ බස්නාහිර පළාතේ දීර්ඝ කාලයක් සේවය කළ සෞඛ්‍ය කාර්ය සහායකයින්ට තම උපන් ගම් ප්‍රදේශවල රෝහල් වෙත ස්ථාන මාරුවීම් ලබා ගැනීමට අවස්ථාව උදාවේ. ඒ අනුව පළමු සහ දෙවන වටයේ පත්වීම් ක්‍රියාවලිය යටතේ සේවකයින් 550 දෙනෙකුට මෙලෙස දිවයින පුරා ස්ථාන මාරුවීම් ලබා දීමට පියවර ගෙන තිබේ.
නවක සෞඛ්‍ය කාර්ය සහායකයින් සඳහා රාජ්‍ය සේවකයෙකු ලෙස මහජනතාවට කාර්යක්ෂමව සේවය කිරීමට අවශ්‍ය මූලික දැනුම සහ පුහුණුව ලබා දීම සඳහා දින තුනක විශේෂ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණු වැඩසටහනක් ද අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත.
















