2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වෙන නිව් යෝර්ක් – නිව් ජර්සි ක්‍රීඩාංගනය වෙත ඇතුළු වීම සඳහා ප්‍රේක්ෂකයින්ට දැඩි ආරක්ෂක පියවරයන් මධ්‍යයේ පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබේ.
ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙන මෙම අවසන් මහා තරඟය නැරඹීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්වීම හේතුවෙන් මෙලෙස ආරක්ෂාව දැඩි කර ඇත. ජනාධිපතිවරයා පෞද්ගලිකව සහභාගී වන එකම ලෝක කුසලාන තරඟය මෙය වීම විශේෂත්වයකි.
ඇමරිකානු රහස් ඔත්තු සේවය (Secret Service) විසින් ක්‍රීඩාංගනයේ ආරක්ෂක කටයුතු සම්පූර්ණයෙන්ම භාරගෙන තිබේ. ප්‍රේක්ෂකයින් සහ මාධ්‍යවේදීන් ගුවන් තොටුපළකදී මෙන් දැඩි ආරක්ෂක පරීක්ෂාවකට ලක් කිරීම නිසා ක්‍රීඩාංගනයට ඇතුළු වීමට පැය දෙකක පමණ කාලයක් ගතවන බව වාර්තා වේ. ආරක්ෂක අංශ සහ ප්‍රවාහන ආරක්ෂක පරිපාලනය (TSA) මගින් මට්ටම් දෙකක ආරක්ෂක පරීක්ෂාවන් සිදු කෙරේ. සමහර පිවිසුම් දොරටු අසල බෑග් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක සුනඛයින් නොමැති වීම නිසා පෝලිම් වෙනස් කිරීමට පවා සිදුව තිබේ.
පෙර පැවති තරඟ හතට වඩා වැඩි පිරිසක් අද තරඟය සඳහා කලින්ම පැමිණීම තදබදයට තවත් හේතුවක් වී ඇත. තරඟය ආරම්භ වීමට පැය හතරකට පෙර දොරටු විවෘත කළද පවතින තදබදය නිසා එය පාලනය කිරීම සඳහා තවත් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, මෙම තත්ත්වය තරඟයේ ආරම්භයට කිසිදු බලපෑමක් සිදු නොවන බව බලධාරීන් පවසයි.














