මේ වන විට බන්ධනාගාර පද්ධතිය තුළ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
බන්ධනාගාර නිලධාරීන් මුහුණ දෙන විවිධ ගැටලු සහ ඔවුන්ගේ සුබ සාධන කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.
සිය ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුණු පළමු අවස්ථාව මෙය බව පෙන්වා දුන් බන්ධනාගාර නිලධාරීන්, ඒ පිළිබඳව ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියහ.
මෙම අවස්ථාව සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර, කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ද, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














