රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබේ. නව දිල්ලියේ පැවැති ‘භාරත් ටෙක්ස් – 2026’ (Bharat Tex – 2026) ප්‍රදර්ශනය අතරතුරදී මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ඉන්දීය රෙදිපිළි අමාත්‍ය ශ්‍රී ගිරිරාජ් සිං මහතා මෙන්ම ඉන්දීය රෙදිපිළි හා විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ශ්‍රී පබිත්‍රා මාගරීටා මහතා ද එක්ව සිටියහ.
සාකච්ඡාවේදී අවධානය යොමුවූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
දෙරට අතර ආයෝජන ප්‍රවර්ධනය කිරීම, නිෂ්පාදන දාම සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ වෙළඳ හා කර්මාන්ත සහයෝගිතාව සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රය සතු ගුණාත්මකභාවය, තිරසාරභාවය සහ සදාචාරාත්මක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වන ගෝලීය පිළිගැනීම සහ ඉන්දියාව සමඟ පවතින දිගුකාලීන වාණිජ සබඳතා හේතුවෙන්, රෙදිපිළි නිෂ්පාදන දාමය තුළ වඩාත් සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට මනා අවස්ථාවක් පවතින බව මෙහිදී අවධාරණය කෙරිණි.
ලොව විශාලතම රෙදිපිළි ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන ‘භාරත් ටෙක්ස් – 2026’ සඳහා රටවල් 130කට අධික සංඛ්‍යාවක ක්ෂේත්‍ර ප්‍රවීණයන්, නිෂ්පාදකයන් සහ නව නිපැයුම්කරුවන් සහභාගි වී සිටින අතර, එය ජාත්‍යන්තර සහයෝගිතාව සහ නව අවස්ථා ගවේෂණය කිරීම සඳහා ඉතා වැදගත් වේදිකාවක් සපයයි.














