හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම සොහොයුරු ශාන් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව දෙවිනුවර සහ කතරගම පූජා භූමි වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වෙමින් ආශීර්වාද ලබාගෙන තිබේ.
පසුගිය 17 වන දින දෙවිනුවර පරම විචිත්‍රාරාම රාජ මහා විහාරස්ථානයට පැමිණි වික්‍රමසිංහ මහතා, අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහානිකායේ මහානායක හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලයට ගොස් දේව පූජාවකට එක්වූ සොහොයුරන් දෙදෙනා, රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ශාන් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබූ භාරයක් ඔප්පු කිරීම ද මෙහිදී සිදුකළහ.
ඉන් අනතුරුව කතරගම පූජා භූමිය වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා, කතරගම කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ පූජාවක් පවත්වා මහසෙන් දෙවිඳුන් සහ දැඩිමුණ්ඩ දෙවිඳුන්ගේ ආශීර්වාදය ලබාගැනීමෙන් පසු රුහුණු කතරගම මහා දේවාලය වෙත ගොස් දේවාශීර්වාදය පතා වතාවත්වල නිරත විය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමැති සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියේය.














