සමාජයක් ලෙස අපගේ වගකීම් නිසි පරිදි ඉටු කළේ නම් ඩෙංගු මරණ මෙන්ම දැනට රට තුළ වාර්තා වන ජලභීතිකා මරණ ද වළක්වා ගැනීමට හැකියාව තිබූ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය (ACAPSL) විසින් සංවිධානය කරන ලද මෙරට විශාලතම සුරතල් සත්ත්ව ප්‍රදර්ශනය වන ‘පෙට් එක්ස්පෝ ශ්‍රී ලංකා 2026′ (Pet Expo Sri Lanka 2026) හි දෙවැනි දින සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ප්‍රදර්ශනය පිළිබඳව වාර්තා වන කරුණු කිහිපයක් පහත දැක්වේ:
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති මෙම ප්‍රදර්ශනය සඳහා සුරතල් සත්ත්වලෝලීන්, ව්‍යවසායකයෝ සහ පශු වෛද්‍යවරු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙවර ප්‍රදර්ශනයේ සුවිශේෂීම අංගය වූයේ වීදි සතුන්ගේ සුභසාධනය සහ ඔවුන් දරුකමට හදාගැනීම වෙනුවෙන්ම වෙන්වූ ‘ආලෝකා’ විශේෂ ප්‍රදර්ශන කුටියයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් වීදි බලු පැටවකු නව හිමිකරුවකු වෙත භාරදීමෙන් මෙම වැඩසටහන ආරම්භ විය.
ජලභීතිකා මර්දනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය චන්දන අබයරත්න මහතා, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා මරණ 20ක් වාර්තා වී ඇති බවත්, ඉන් මරණ 04ක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වී ඇති බවත් පෙන්වා දුන්නේය. ජලභීතිකාව මුළුමනින්ම තුරන් කිරීමේ අභියෝගය ජය ගැනීම සඳහා දේශපාලන අධිකාරිය, වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තිකයන් එක්වී නව තාක්ෂණය සහ නව නිපැයුම් භාවිතා කරමින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
සමාජයක දියුණුව හා සංස්කෘතික උසස් බව මැනිය හැක්කේ එම සමාජය සතුන් කෙරෙහි දක්වන ආකල්ප මත බව පැවසූ අමාත්‍යවරයා, ගෘහස්ථ සතුන් පමණක් නොව වීදි සතුන්ගේ සුභසාධනය වෙනුවෙන් ද මානුෂීය අවධානයක් යොමු කිරීමේ වැදගත්කම සිහිපත් කළේය. ජලභීතිකාවෙන් තොර රටක් ගොඩනැගීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් පාලන ආයතන එකමුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවල ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාත්මක දේශන මාලාවක් ද මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්විණි.














