දොම්පේ, දෙකටන, වතුරබොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ එතනෝල් ලීටර් 1,400ක් අඩංගු බැරල් හතක් දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් පසුගිය සිකුරාදා (17) අත්අඩංගුවට ගෙන ඇත.
එම වැටලීමට සමගාමීව පනාගොඩ, ලේලන්ඩ් හන්දිය අසල බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය අනීතික සැනිටයිසර් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා පානීය නොවන ස්ප්‍රීතු බැරල් 18ක් ද අත්අඩංගුවට ගෙන තිබේ. වතුරබොඩ පිහිටි ආයතනය මගින් සැනිටයිසර් නිෂ්පාදනයක් සිදු නොකරන බවත්, බලපත්‍ර ලබාගෙන නොමැති බවත් හෙළි වී ඇත. මෙම එතනෝල් තොගය මත්පැන් නිෂ්පාදනය සඳහා අනීතිකව යොමු කිරීමට ඉඩ තිබූ අතර, එසේ සිදුවූයේ නම් රජයට අහිමි වීමට තිබූ බදු ආදායම රුපියල් මිලියන 16කට අධික බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ ආයතනවල කළමනාකරුවන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති අතර, ඔවුන්ට එරෙහිව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.














