ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සඳුදා දිනයේදී 3%කින් පමණ ඉහළ ගියේය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.79ක් දක්වා ඉහළ ගිය අතර, එය පසුගිය ජූනි 11 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගයයි.
ලෝක තෙල් වෙළෙඳාමෙන් පහෙන් එකක් සිදු කෙරෙන හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන බලශක්ති ප්‍රවාහන කටයුතු මෙම ගැටුම් හේතුවෙන් සීමා වී තිබේ. පසුගිය සතියේ අමෙරිකාව ඉරානයට එරෙහිව අඛණ්ඩව නව වන දිනටත් ප්‍රහාර එල්ල කළ අතර, කුවේට් සහ බහරේන් යන රටවල් ද ඉරානය විසින් එල්ල කරන ලද තවත් ප්‍රහාර වාර්තා කර ඇත.
දෙපාර්ශ්වයම මේ වන විට නාවික ගමනාගමනය ඉලක්ක කර ගනිමින් කටයුතු කරයි. අමෙරිකාව පවසන්නේ තමන් ඉරාන වරායන් වෙත නාවික අවහිරතාවක් පනවා ඇති බවයි. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය පවසන්නේ හොර්මුස් සමුද්‍ර සන්ධියේ ගමන් කිරීමේ නීති උල්ලංඝනය කරන නෞකා තමන් ඉලක්ක කරන බවයි.
සඳුදා දිනයේදී හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත්තේ නෞකා හතරක් පමණක් වන අතර, එය පෙර දිනට වඩා සැලකිය යුතු අඩුවීමකි. පසුගිය කාලයේ යුද්ධයේ ආරම්භයට සාපේක්ෂව මේ වන විට තෙල් සංචිත අතිශය තදබල මට්ටමක පවතින බැවින්, පවතින ගැටුම් තත්ත්වය හමුවේ තෙල් වෙළෙඳපොළ තවදුරටත් අවදානමකට ලක්විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
















