ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී (HIV) ඇතුළු සමාජ රෝග වාර්තා වීම වසරින් වසර ඉහළ යමින් පවතින බවත්, විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.තරුණ පිරිස් සහ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් අතරින් පවා එච්.අයි.වී ආසාදිතයන් වාර්තා වීම පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති අතර, අනාරක්‍ෂිත ලිංගික සබඳතා වැඩි වීම සහ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමේදී එකම එන්නත් කටුව සහ සිලින්ජර හවුලේ භාවිත කිරීම මෙම වර්ධනයට ප්‍රධාන හේතු වී තිබේ. බිය සහ ලැජ්ජාව නිසා බොහෝ දෙනා සායන වෙත පැමිණීම මඟහැරීමද රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇති තවත් ප්‍රධාන සාධකයකි.මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මුල් අවධියේදීම රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, එච්.අයි.වී ආසාදිතයෙකු වුවද නියමිත පරිදි ඖෂධ ලබා ගැනීමෙන් නීරෝගී දිවියක් ගත කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති. එබැවින්, හැඟීම්වලට වහල් නොවී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සහ යම් සැක සහිත තත්ත්වයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් හා පරීක්ෂණ වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේ.
















