හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ කතරගම වන්දනා සමය සහ ඇසළ පෙරහැර ඉලක්ක කරගනිමින් මහා පරිමාණ දඩමස් ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ජලය සොයා රක්ෂිත හා වැව් වෙත පැමිණෙන මුවන්, වල් ඌරන් ඇතුළු වන සතුන් ඉලක්ක කර දඩයක්කරුවන් ජල මූලාශ්‍රවලට යූරියා වැනි විෂ වර්ග මුසු කිරීම හේතුවෙන් මුවන් 17 දෙනෙකු මියගිය සිද්ධියක් මෑතකදී වාර්තා විය.
වන්දනාකරුවන් පූජා භූමි වෙත පැමිණ දඩමස් මිලදී ගැනීමට දැක්වෙනු ලබන ඉල්ලුම මත, ජාවාරම්කරුවන් මුවන් මෙන්ම සුනඛයන් සහ ගව පැටවුන්ගේ මස්ද වස දී මරා දඩමස් ලෙස අලෙවි කරන බව පරිසරවේදීහු පෙන්වා දෙති. මෙම ජාවාරම් මගින් බැතිමතුන්ගේ සෞඛ්‍යයට දැඩි තර්ජන එල්ල වන අතර, අධිවේගී මාර්ග හරහා පවා මෙම මස් ජාවාරම් සිදුවන බවට තොරතුරු අනාවරණය වී ඇත.
වනජීවී දෙපාර්තමේන්තුව පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිව වැටලීම් දැඩි කර තිබුණද, සීමිත කාර්ය මණ්ඩලය හමුවේ වන සත්ත්ව සංහාරය මුලිනුපුටා දැමීමට මහජන සහයෝගය ද අත්‍යවශ්‍ය බව බලධාරීහු අවධාරණය කරති.
















