බස් රථ ඇතුළු පොදු ප්රවාහන ක්ෂේත්රයේ යෙදී සිටින සියලුම වාහන පරීක්ෂාවකට ලක් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට ජාතික මාර්ග ආරක්ෂණ කවුන්සිලය තීරණය කර තිබේ. එහි සභාපති මංජුල කුලරත්න මහතා ප්රකාශ කළේ මෙම පරීක්ෂණ වැඩසටහන එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
ශ්රී ලංකාව තුළ පොදු ප්රවාහන වාහන සම්බන්ධ රිය අනතුරු සඳහා ප්රධාන වශයෙන් රියදුරන්ගේ නොසැලකිලිමත්කම සහ වාහනවල පවතින විවිධ කාර්මික දෝෂ හේතු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඊට විසඳුමක් වශයෙන් බස් රථ ද ඇතුළුව පොදු ප්රවාහනයේ යෙදෙන සියලුම වාහන මෙලෙස පුළුල් පරීක්ෂාවකට ලක් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම වාහන පරීක්ෂාවන් සිදු කිරීම සඳහා සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීමට මේ වන විටත් අයදුම්පත් කැඳවා ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එම බඳවා ගැනීමේ ක්රියාවලිය අවසන් වූ පසු, සැප්තැම්බර් මාසය අවසානයේදී මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර, ඒ අනුව දිවයින පුරා පවතින සියලුම පොදු ප්රවාහන වාහන අනිවාර්ය තත්ත්ව පරීක්ෂාවකට ලක් කළ යුතු වේ.
















