අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ පැවති මාසික මහා සභා රැස්වීම දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත්තේ මන්ත්‍රීවරයෙකු මළ නිවසක මුදලට බූරු ගසන බවට කියන වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ වාද විවාද හේතුවෙනි. සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ඉලක්ක කරමින් මෙම චෝදනාව එල්ල කරන ලදී. රාජ්‍ය අනුග්‍රහය ඇතිව මළ ගෙවල්වල මුදලට බූරු ගසන මන්ත්‍රීවරුන් සිටින බවත්, එවැනි දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වන බවත් ඔහු සභාවේදී ප්‍රකාශ කළේය.
ඊට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගයේ අදාළ මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමන් මළ නිවසක අසුන්ගෙන සිටින දර්ශනයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් තමන්ව අපහසුතාවයට පත් කිරීමට පිරිසක් උත්සාහ කරන බවයි. පාරේ වැටී මියගිය අහිංසක මනුෂ්‍යයෙකුගේ අවමඟුලකදී, මළ ගෙදර රැයේ හිටපු මිනිසුන් නිදාගැනීමට උදව් කළ අවස්ථාවක ගත් දර්ශන වැරදි ලෙස සමාජ මාධ්‍යට මුදාහැර මඩ ගහන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සභාවේ වත්මන් සභාපති දර්ශන විජේසිංහ මහතා සහ හිටපු සභාපති මෙන්ම වත්මන් මන්ත්‍රී ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා අතරද දැඩි වාග් සංග්‍රාමයක් හටගත්තේය. සභාපතිවරයා විසින් මෙම වීඩියෝව ප්‍රසිද්ධ කළ බවට ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා චෝදනා කළ අතර, සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන්ටද එම වීඩියෝව ලැබුණේ වෙනත් පාර්ශ්වයකින් බවයි. දෙපාර්ශ්වයම එකිනෙකාට ඇඟිලි දිගු කරමින් සිදුකළ මෙම වාද විවාදවලට ජාතික ජන බලවේගයේ සහ සෙසු පක්ෂවල මන්ත්‍රීවරුන් ද මැදිහත් වීමත් සමඟ සභා ගර්භය මිනිත්තු කිහිපයකට දැඩි ගාලගෝට්ටියක් බවට පත් විය.














