2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමෙරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.
යුරෝපීය සිවිල් ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන EADS වෙතින් අල්ලස් වශයෙන් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති මෙම මුදල් හුවමාරු වූ බවට සැක කෙරෙන බැංකු ගිණුම් හිමිකරුවන්, ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සැකකරුවන් සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි. අදාළ අල්ලස් මුදල් ප්‍රේෂණය වූ බැංකු ගිණුමක හිමිකරුවකු ලෙස සැලකෙන නිමල් පෙරේරා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ හිටපු ප්‍රධාන විධායක නිලධාරී දිවංගත කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද රාජපක්ෂ යන අයද මේ වන විට විදේශගතව සිටින අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණ මගින් දැනටමත් වරෙන්තු නිකුත් කර ඇත. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණවල නඩු පවරා තිබේ.














