වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඊයේ (19) දිනයේදී පමණක් නව රෝගීන් 2,652 දෙනෙකු වාර්තා වී ඇති අතර, මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
පසුගිය මාස කිහිපය තුළ රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, මැයි මාසයේදී රෝගීන් 8,590ක්, ජූනි මාසයේදී රෝගීන් 21,537ක් සහ ජූලි මාසයේ ගතවූ දින 19 තුළ පමණක් රෝගීන් 20,666ක් වාර්තා වී තිබේ. මෙම වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 53 කි.
පළාත් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මුළු රෝගීන්ගෙන් 52.61%ක් (රෝගීන් 40,009ක්) වාර්තා වන බස්නාහිර පළාතෙනි. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට (රෝගීන් 15,910ක්) වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,110ක් වාර්තා වේ. පවතින වර්ෂාපතනයත් සමඟ මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, පරිශ්‍රයන් පිරිසිදුව තබා ගන්නා ලෙසත් උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.














