ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ HSBC බැංකුව එක්ව කොළඹ වරායේ SAGT පර්යන්තය නවීකරණය සහ එහි මෙහෙයුම් හරිතකරණය කිරීම සඳහා ඩොලර් මිලියන 40ක ආයෝජනයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ. මෙම මූල්‍ය පැකේජය යටතේ IFC ආයතනය විසින් ඩොලර් මිලියන 20ක ‘තිරසාරත්වයට අදාළ ණය’ පහසුකමක් සහ HSBC බැංකුව විසින් ඩොලර් මිලියන 20ක ‘හරිත ණය’ පහසුකමක් ලබා දෙනු ඇත. මෙම ආයෝජනය ශ්ර්රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්රයේ සමාගමක් සඳහා IFC විසින් ලබා දුන් ප්‍රථම තිරසාරත්වයට අදාළ මූල්‍ය පහසුකම ලෙස සටහන් වේ.
ලැබෙන අරමුදල් භාවිත කරමින් වරායේ ඵලදායිතාව ඉහළ නැංවිය හැකි සහ බලශක්ති පරිභෝජනය අවම කරන නවීනතම දොඹකර මිලදී ගැනීමට නියමිත අතර, මෙම නවීකරණය මගින් පර්යන්තයේ ඵලදායිතාව අවම වශයෙන් සියයට 11කින් ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත. මෙම ව්‍යාපෘතිය හරහා රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අමතරව, නාවික ක්ෂේත්රය තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට ද විශේෂ අවධානයක් යොමු කෙරේ. SAGT හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටීන් නුඩ්සන් මහතා සහ HSBC ශ්ර්රී ලංකා ආයතනයේ අමේෂ් දිසානායක මහතා පෙන්වා දුන්නේ, මෙම පියවර හරහා වරාය උපකරණ නවීකරණය වෙමින් කාබන් විමෝචනය අවම කිරීමට සෘජුවම දායක වන බවයි.
ශ්ර්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5කට දායක වන නාවික සහ සැපයුම් ක්ෂේත්රය මෙරට ආර්ථිකයේ තීරණාත්මක අංශයක් ලෙස සැලකේ. ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ග මධ්‍යයේ පිහිටි කොළඹ වරාය, මෙම ආයෝජනය හරහා වඩාත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී සේවාවක් ජාත්‍යන්තර නැව් සමාගම් වෙත ලබා දීමට අපේක්ෂා කරයි. තවද, මෙම ආයෝජනය ලෝක බැංකු සමූහයේ ශ්ර්රී ලංකාව සඳහා වූ හවුල්කාරිත්ව රාමුව සමඟ සමපාත වන අතර, එය මෙරට ගෝලීය වෙළඳ ජාලයන් සමඟ තවදුරටත් ඒකාබද්ධ කිරීමට ඉවහල් වනු ඇත.
















