ලංකාවේ වාස්තුවිද්‍යා ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා LANKATILES සමාගම ජෙෆ්රි බාවා භාරය (Geoffrey Bawa Trust) සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹීමට පියවර ගෙන ඇත. මෙම ගිවිසුම යටතේ ජෙෆ්රි බාවා භාරය විසින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ‘DesignTalk’ සංවාද මණ්ඩපය සහ ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනය ඇතුළු ප්‍රධාන වැඩසටහන් කිහිපයක් සඳහා LANKATILES ආයතනය මූල්‍යමය සහ සංවිධානාත්මක දායකත්වය ලබා දෙයි.
මෙම සහයෝගීතාව තුළින් වාස්තුවිද්‍යා ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ ආධුනිකයන් අතර අදහස් හුවමාරුව සඳහා අවකාශය සැකසෙන අතර, ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ අනාගතය වෙනුවෙන් නව මාවතක් විවර කිරීමට අපේක්ෂිතය. LANKATILES PLC හි කළමනාකාර අධ්යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා සඳහන් කළේ වාස්තුවිද්‍යාව යනු හුදෙක් ගොඩනැඟිලි ඉදිකිරීමක් නොව සංස්කෘතික උරුමය හැඩගස්වන කලාවක් බවත්, ඒ සඳහා දායකත්වයක් සැපයීම සමාගම අභිමානයක් ලෙස සලකන බවත්ය.
1982 වසරේදී කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතා විසින් පිහිටුවන ලද ජෙෆ්රි බාවා භාරය, මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද වාස්තුවිද්‍යාව, කලාව සහ පාරිසරික අධ්‍යයන ප්‍රවර්ධනය උදෙසා අඛණ්ඩව කටයුතු කරයි. ජෙෆ්රි බාවා සහ ලුණුගඟ භාරයන්හි සභාපති චන්න දාස්වත්ත මහතා පෙන්වා දුන්නේ පරිසරය සහ කලාව තේමා කරගනිමින් සංවිධානය කරන මෙම වැඩසටහන් මාලාව ඉදිරියට ගෙනයෑම සඳහා LANKATILES ආයතනය ලබාදෙන සහයෝගය ඉමහත් ශක්තියක් වන බවයි.















