‘දිට්වා’ (Ditwah) චණ්ඩ මාරුතය හේතුවෙන් මව්පියන් අහිමි වූ දරුවන් වෙනුවෙන් ලබාදෙන මාසික දීමනාව කිසිදු ප්‍රමාදයකින් තොරව සුදුසුකම් ලත් දරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.
අද (20) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ 2026 අයවැය ප්‍රතිපාදන ප්‍රගති සමාලෝචන සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළේය.
මෙහිදී ගර්භණී මාතාවන් සඳහා ලබාදෙන පෝෂණ මල්ල දීමනාව හුදෙක් මුදල් හුවමාරුවකට පමණක් සීමා නොකර, මව්වරුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ සැබෑ අරමුණ ඉටුවන පරිදි නිසි අධීක්ෂණයකින් යුතුව ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, පෙරපාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල, ‘ගුරු අභිමානී’ පෙරපාසල් ගුරු දීමනාව, ජාතික ළමා රක්ෂක අධිකාරියේ වැඩසටහන් මෙන්ම ඉදිරි 2027 අයවැය සඳහා නිවැරදි දත්ත පද්ධතියක් මත පදනම්ව ප්‍රතිපාදන වෙන්කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.
















