ජාතික යොවුන් සේවා සභාවේ (NYSC) අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයින් හයදෙනෙකු පත්කර ඇති බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
එලෙස පත් වූ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන්නේ ආචාර්ය අනුර දිසානායක, නියාස් මොහොමඩ් ඉර්ෂාද්, විශ්වනාත් එදිරිසිංහ, සංජීව ගුණරත්න, එච්. හේරත් සහ චමින්ද ප්‍රසාද් කුමාරතුංග යන මහත්වරුන්ය.
මෙම පත්කිරීම්වලින් අනතුරුව, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හේන්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි තරුණ සංවර්ධන වැඩසටහන් පිළිබඳව නව අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නිශ්චිත අරමුණු සහිතව තරුණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මෙම මණ්ඩලයේ ප්‍රවීණත්වය සහ අත්දැකීම් අත්‍යවශ්‍ය වන බවයි. ප්‍රතිඵලදායක ප්‍රවේශයක් හරහා ජාතික යොවුන් සේවා සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාමට සක්‍රීයව දායක වන ලෙස අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී නව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර, ජාතික යොවුන් සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















