මොනරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මොනරාගල නගරය ඇතුළු ප්‍රදේශ රැසක උග්‍ර ජල හිඟයක් හටගෙන ඇති අතර, පවතින තත්ත්වය හමුවේ ජල සැපයුම දින තුනකට වරක් සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මොනරාගල කාර්යාලය පියවර ගෙන තිබේ. මොනරාගල නගරයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍ර වන ‘ජී ලෝන්’ ජල මූලාශ්‍රය සහ කුඹුක්කන් ඔය සිඳී යමින් පැවතීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇති බව මණ්ඩලය පවසයි.
පවතින ජල අර්බුදයට විකල්පයක් ලෙස උස් බිම් ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සැපයීමටත්, අලුතින් නළ ළිං ඉදිකිරීමටත් ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇති අතර, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. කෙසේ වෙතත්, මොනරාගල ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස 2019 වසරේදී මුල්ගල තැබූ කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය මෙතෙක් නිම නොවීම පිළිබඳව ජනතාව සිය කණගාටුව පළ කරති.
















