ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 15කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තම්බයියා ප්‍රකාශ් නොහොත් ධනුෂ් නමැත්තාට දැඩි කොන්දේසි මත ඇප ලබාදීමට අභියාචනාධිකරණය ඊයේ (20දා) නියෝග කළේය. නඩු විභාගයකින් තොරව මෙලෙස දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම ඔහු නිදහස් කිරීමට තරම් ප්‍රමාණවත් ‘සුවිශේෂී තත්ත්වයක්’ වන බව ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ පී. කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල තීන්දු කළහ.
අත්අඩංගුවට ගන්නා විට වයස අවුරුදු 26ක තරුණයකුව සිටි විත්තිකරු, නඩු විභාගයක් අපේක්ෂාවෙන් තම තාරුණ්‍යයේ වටිනාම කාලය සිරගෙදර ගතකිරීමට සිදුව ඇති බවත්, මහාධිකරණය ඇප ප්‍රතික්ෂේප කිරීමේදී 2022 සංශෝධන මගින් පනතට ඇතුළත් කළ 15 ඊ වගන්තියේ ව්‍යවස්ථාදායක අරමුණ නිවැරදිව සලකා බලා නොමැති බවත් අධිකරණය නිරීක්ෂණය කළේය.
















