කඩින් කඩ වර්ෂාව පතිතවීම නිසා ඩෙංගු මදුරුවන් බෝවීමට හිතකර පරිසරයක් නිර්මාණය වන බැවින්, හැකි සෑම අවස්ථාවකම මදුරු තවාන් බෝවිය හැකි ස්ථාන සුද්ද පවිත්‍ර කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, පෙරේදා (19දා) වනවිට ඩෙංගු මරණ 53ක් සමඟ සමස්ත රෝගීන් 76,044ක් වාර්තා වී ඇති අතර, ජූලි මාසයේ ගෙවී ගිය දින 19 තුළ පමණක් රෝගීන් 20,666ක් වාර්තා වී තිබේ.
මැයි මාසයේදී රෝගීන් 8,590ක්, ජුනි මාසයේදී 21,537ක් ලෙස වාර්තා වීමෙන් පෙනී යන්නේ රෝගය කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවයි. පළාත් මට්ටමින් බැලීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් (40,009ක් හෝ 52.61%) වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.














