ඉදිරි දශකය තුළ සෑම පුරවැසියෙකුටම ආරක්ෂිත, පිරිසිදු සහ ස්වභාවිකව තිරසර පානීය ජලය ලබාදීම උපායමාර්ගික ජාතික අරමුණක් විය යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ එක්ව සංවිධානය කළ “සමස්ථානික පාදක ස්කන්ධ ආකෘතිකරණය සහ කෘත්‍රිම පුනර්ජනන ක්රියාමාර්යන්හි සඵලතාවය ඇස්තමේන්තු කිරීම” පිළිබඳ කලාපීය පුහුණු පාඨමාලාවේ සමාරම්භක සැසියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
භූගත ජලයේ රහස් අවබෝධ කර ගැනීම සඳහා ජල විද්‍යාවේ සමස්ථානික තාක්ෂණය මුළු ලෝකයේම බහුලව භාවිතා වන අතර, ජල සම්පත් කළමනාකරණය තුළ මෙම තාක්ෂණය යෙදවීම සම්බන්ධයෙන් කලාපීය හැකියාවන් සංවර්ධනය කිරීම මෙම පුහුණු පාඨමාලාවේ අරමුණ වී තිබේ. ආසියා-පැසිෆික් කලාපය පුරා විසිරී සිටින කීර්තිමත් විද්වතුන්, පර්යේෂකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් රැසක් මීට සහභාගී වී සිටිති.
















