මැදපෙරදිග කලාපය තුළ ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය තවදුරටත් දැඩි ලෙස උත්සන්න වී තිබේ.
පසුගිය ජූලි 7 වැනිදා සිට මේ දක්වා ඇමෙරිකානු සෙබළුන් 100කට ආසන්න ප්‍රමාණයකට සුළු තුවාල සිදුවී ඇති බව පෙන්ටගනය නිවේදනය කර ඇත. මීට පෙර ජීවිතක්ෂයට පත් වූ සෙබළුන් තිදෙනා වෙනුවෙන් ඉරානයට දැඩි ප්‍රතිචාර දක්වන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ අනතුරු ඇඟවීමත් සමඟ, ඇමෙරිකාව අඛණ්ඩව 10 වැනි දිනටත් ඉරානයේ අණදෙන මධ්‍යස්ථාන සහ නාවික කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කර තිබේ. මේ හේතුවෙන් බන්ඩාර් අබ්බාස් ඇතුළු ප්‍රදේශ කිහිපයක පිපිරීම් වාර්තා වී ඇත.
එමෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගත් නෞකාවකට එල්ල වූ ප්‍රහාරයක් නිසා එහි කාර්ය මණ්ඩලය නෞකාව අතහැර ජීවිතාරක්ෂක බෝට්ටුවලට නැග ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) පවසයි. නීති උල්ලංඝනය කළ ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පහර දුන් බව ඉරානය ද නිවේදනය කර ඇති අතර, මෙම තත්ත්වය නිසා ආසියානු කලාපයේ බලශක්ති සැපයුමෙන් 60%කට අධික ප්‍රමාණයක් රඳා පවතින මෙම ප්‍රධාන මුහුදු මාර්ගයේ දෛනික නෞකා ගමනාගමනය සීඝ්‍රයෙන් පහත වැටී ඇත.
















