මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම් සහ සිදුවූ ජීවිතක්ෂයට පත්වීම් සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස වගකීම් පැහැර හැර ඇතැයි චෝදනා කරමින්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත (21) දින භාරදෙනු ලැබීය.
පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියන් පිරිසක් මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීම මෙම විශ්වාසභංගයට මුල් වී ඇත.
2024 නොවැම්බර් 25 වැනි දින අංක 2412/08 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් අධිකරණ අමාත්‍යවරයාට පවරා ඇති බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පරිපාලනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ බන්ධනාගාර තදබදය අඩු කිරීම ඇතුළු වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව විපක්ෂය පෙන්වා දෙයි.
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් මෙම යෝජනාව භාර දී ඇති අතර, මීළඟට අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කිරීමට නියමිතය.














