ලියාපදිංචි ජනරාල් දෙපාර්තමේන්තුවේ ‘e-ජනලේඛන’ (e-Population Register) වැඩසටහන යටතේ අතින් ලියන ලද මරණ සහතික වෙනුවට පරිගණකගත කළ නව ඩිජිටල් මරණ සහතික පද්ධතියක් රජය විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා විසින් අද (23) දින මෙම පද්ධතිය නිල වශයෙන් ජනගත කරන ලදී.
මෙම නව ඩිජිටල් පද්ධතිය මඟින් මරණ සහතික වඩාත් කඩිනමින් නිකුත් කිරීමට, යාවත්කාලීන ජනගහන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමට, රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව පහසු කිරීමට මෙන්ම නිල වාර්තාවල ආරක්ෂාව තහවුරු කිරීමට ද හැකියාව ලැබේ. ක්ෂණිකව තහවුරු කරගැනීම (Verification) සඳහා සෑම සහතිකයකටම QR කේතයක් ඇතුළත් කර ඇති අතර, වංචනික ලෙස සහතික සකස් කිරීම වැළැක්වීම සඳහා විශේෂිත ආරක්ෂිත කඩදාසියක (Secured Paper) මෙය මුද්‍රණය කරනු ලබයි.
මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති අතර, එහි පළමු ඩිජිටල් මරණ සහතිකය කළුතර දිසාපතිවරයා වෙත සංකේතාත්මකව පිරිනමන ලදී. රජයේ පුළුල් ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මෙම පියවර මඟින් රක්ෂණ හිමිකම්, විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් මහජන සේවාවන් සඳහා අවශ්‍ය මරණ සහතික ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වනු ඇත.














